එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙනයෑමට සුදුසු දැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලියට එක්වෙමින්.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවැති මෙම ජනහමුවට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාව එම ජනතාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මීට වසර දෙකකට පෙර ආහාර නැතිව, ගොවිතැන් කිරීමට පොහොර නැතිව ජනතාව සිටියා. ගොවිතැන් කිරීමට පොහොර නොමැතිව ගොවීන් අසරණ වුණා. ආහාර, ඖෂධ නොමැතිව ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වුණා. මා 2022 වසරේ ජූලි මාසයේ දී ආණ්ඩුව භාරගෙන මුලින්ම කටයුතු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමටයි. මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා.
මා රට භාර ගන්නා විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොලරයක මිල රුපියල් 300ක්. මේ රට මා භාර ගනිද්දි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76කට අඩු වී තිබුණා. 2023 අවසන් වන විට එය ඩොලර් බිලියන 84ක් බවට පත්කර ගැනීමට කටයුතු කළා.
ජනතාවට තවදුරටත් සහන ලබාදිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89ක් බවට පත්කර ගත යුතුයි. උද්ධමනය සියයට 9ක් බවට පත්කරගත යුතුයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා. එපමණක් නොවෙයි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 92ක් බවට පත්කර ගතහොත් රුපියල තවත් ශක්තිමත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කටයුත්තයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සජිත්ට හෝ අනුරට හැකියාවක් නැහැ. රට භාර ගන්නා ලෙස ඉල්ලූ විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරිසකට රටක් පාලනය කළ හැකිද ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඔවුන් පැනලා ගියා.
මට තිබුණේ තනි මන්ත්‍රී ආසනයක්. නමුත් ජනතාව දුක් විඳින නිසා මම මේ රට භාර ගත්තා. ජනතාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රීවීල් රියැදුරන්ට හයර් එක්ක යෑමට නොහැකි වුණා. මේවා දැකලා මේ නායකයන් අනුකම්පා කළාද? නමුත් ඒ අවස්ථාවේ රට භාරගත් මම ද්‍රෝහියෙක් කියලා අද ඔවුන් කියනවා. මම හොරු ආරක්ෂා කරනවලු. ඔවුන් හිතන්නේ එපමණයි. ජනතාවගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ.”




