වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ අමාරුව කියල පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවෙයි. මේ කියන්න යන්නෙත් ඒ වගේ ඉතාමත් භයානක හෙළිදරව්වක් ගැන. ඔබ මෑත කාලිනව භාවිතා කල බෙහෙත්වල ගුණාත්මක භාවය ගැන ඔබ හරියටම දැනුවත්ද ? එසේ නොමැතිනම් මේ කාරණාව පිලිබදව රටේ දැඩි කතාබහක් ඇති කලයුතු කාලයක් මේක.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී සිදු වූ ඖෂධ වංචා පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ලාභ ඖෂධ ලබාගැනීම මිරිගුවක් පසුපස හඹායෑමක් යැයි හෙළිදරව් කරන බව ඩේලි මිරර් පුවත්පත ලිපියක් මගින් අවධාරණය කර තිබෙනවා.
එම පුවත්පත තර්ක කර ඇත්තේ ඖෂධ අඩු මිලට ලබා දීම පිළිබද ජාතික වශයෙන් දැඩි උනන්දුවක් දැක්වූ නිසා ඖෂධවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අවතක්සේරු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වූ බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වූ මෙම අවිධිමත් ක්‍රමවේදය පිළිබඳව ඩේලි මිරර් වාර්තා කරන්නේ, පද්ධතියේ පවතින ‘හදිසි අවශ්‍යතාවය’ නමැති ලේබලය භාවිත කරමින් ඖෂධවල ප්‍රමිතිය සහ අඛණ්ඩතාවය ඉතා පහසුවෙන් මඟහැර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙන්වා දී ඇති බවයි.
2022 ඔක්තෝබර් 25 වන දින හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය හරහා මෙම අර්බුදය නිර්මාණය කර ඇති බවත්, එහිදී අත්‍යවශ්‍ය ඖෂධ තොග ‘ශුන්‍ය’ මට්ටමක පවතින බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බවත් එම පුවත්පත සිහිපත් කර තිබෙනවා.
දැඩි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟහැරීමට සහ භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරවා ගැනීමට මෙම කෘතිමව මවාපෑ භීතිය, යතුරක් ලෙස භාවිත කර ඇති බව ඩේලි මිරර් සිය ලිපියෙන් පෙන්වාදෙනවා.
එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තිය (ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමේ අවසරය) නීතිය මඟහැරීමට දූෂිත නිලධාරීන් විසින් අවියක් කරගත් ආකාරය ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙනවා.
සුවිශේෂී හදිසි අවස්ථාවන් සඳහා පමණක් වෙන්වූ මෙම වගන්තිය, සැවොරයිට් ෆාමසියුටිකල්ස් වැනි ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ගෙන්වීම ‘සාමාන්‍ය පටිපාටියක්’ බවට ක්‍රමානුකූලව පත්කර ඇති බව එහි සඳහන්.
එමෙන්ම, ආනයනික ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව සැවොරයිට් සමාගම ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විශේෂඥ කමිටු සමාලෝචනයෙන් හෙළි වී ඇති බවද එහි සඳහන් වනවා.
තවද WHO අනුමත පූර්ව සුදුසුකම් සහිත රසායනාගාර වාර්තා ඉදිරිපත් කිරීමට සැපයුම්කරු අපොහොසත් වී තිබීම, ලියාපදිංචිය සහ පරීක්ෂාවන් අඩපණ කිරීම හරහා මහජන සෞඛ්‍යය බරපතල අනතුරකට ලක්කර ඇති බව එම පුවත්පත පෙන්වාදෙනවා.
කෙසේ වෙතත් එම ලිපියෙහි තර්ක කර ඇත්තේ මෙය දැනට පවතින නීතියේ අඩුපාඩුවක් බවයි. වෛද්‍යවරුන්, ඖෂධවේදීන් ඇතුලු කර්මාන්තයේ ප්‍රවීණයන් විසින් ‘අඩුම ලංසුව‘ සහිත ලාභ ඖෂධ සොයායෑම ගැටලු සහගත බව පෙන්වා දී ඇතැයි එම ලිපියේ සදහන් කර තිබෙනවා.
ගුණාත්මකභාවය පාවා දෙමින් ‘අඩුම ලංසුව’ හඹායාම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන විශාලතම ආර්ථිකමය වැරැද්දක් බව ඩේලි මිරර් සිය විශ්ලේෂණයේ සඳහන් කර තිබෙන අතර ලාභ මිල ප්‍රමුඛ සාධකය බවට පත් වූ විට, දැඩි තත්ත්ව සහතික සඳහා ආයෝජනය නොකරන ප්‍රමිතියෙන් තොර සැපයුම්කරුවන්ට වෙළඳපොළ සූරාකෑමට අවස්ථාව ලැබෙන බවත්, එමගින් නීත්‍යානුකූල සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදකයන් පද්ධතියෙන් ඉවත් වන බවත් එම පුවත්පත අනතුරු අඟවා තිබෙනවා.
මෙම දූෂිත ක්‍රියාවලියේ මූල්‍ය හා මානව පිරිවැය අතිවිශාල බව පෙන්වා දෙන ඩේලි මිරර් පුවත්පත, වගකීම් පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ පෞද්ගලික මූල්‍ය දඩයන් පිළිබඳව ද අවධාරණය කර තිබුණා.
නමුත් මෙම මුදල්වලට වඩා ජාතියට සිදුවූ සැබෑ හානිය වන්නේ අහිතකර රෝගී ප්‍රතික්‍රියා, ප්‍රතිකාර අසාර්ථක වීම් සහ මහජන විශ්වාසය බිඳවැටීම බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය නැවත ගොඩනැගීමේදී, ‘ගුණාත්මකභාවය සුරක්ෂිත කෙරෙන ජාතික හැඟීම’ මූලික පදනම විය යුතු බව එම පුවත්පත සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
වෛද්‍ය නිෂ්පාදනයක සැබෑ වටිනාකම පවතින්නේ වට්ටම් සහිත මිල ලේබලයක හෝ ඉල්ලුම් නොකළ ලංසුවක නොව, එහි තහවුරු කරන ලද ආරක්ෂාව, සායනික සඵලතාවය සහ ඒ සඳහා පදනම් වන දැඩි මෙන්ම සම්මුති විරහිත ගුණාත්මක තත්ත්ව සහතික කිරීමේ ක්‍රමවේදයන් තුළ බව එහි සදහන්.
ශ්‍රී ලංකාව සිය බිඳ වැටුණු සෞඛ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය යළි ගොඩනැගීමට උත්සාහ කරන විට, මෙම අධිකරණමය මැදිහත්වීමෙන් ලැබුණු පාඩම් අනාගත ප්‍රතිපත්ති සම්පාදනයේ මූලික පදනම විය යුතු බව එහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
සැබෑ මූල්‍ය හා සදාචාරාත්මක වගකීම යනු සෑම පුරවැසියෙකුටම උසස් ගුණාත්මකභාවයක් සහතික කරන විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් පද්ධතියකට ආයෝජනය කිරීම බව පිළිගනිමින්, ජාතික මානසිකත්වය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් විය යුතු බවද එහි සදහන්.




