පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන්නේ මෙම සංශෝධනය අනුව තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බවයි.
ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව බවයි.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නා.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෙනස්කම් සිදුකිරීමේදී දරුවන්ට නවීන තාක්ෂණික දැනුම ලබාදීම අත්‍යවශ්‍යය වන බවත් විශේෂයෙන්ම නැනෝ තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන විෂය ක්ෂේත්‍ර මූලික කරගනිමින් අධ්‍යාපනය ලබා දීම වැදගත් වන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරනවා.




