ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05) සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්රකාරව අද (05) සිට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටුවීමට මේ අනුව පියවර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව දෙසැම්බර් මස 5 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්රියාවලිය අත්හිටුවීමටත් එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලු සුරාබදු මත්පැන් බලපත්ර ද දෙසැම්බර් මස 31 වැනි දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




