රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවයි.
ඊයේ (16) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදෙනවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :
“අපි පටන් ගත්තු තැන සිතපු දේවල්, සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා.මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ.මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි.”
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 519ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.




