ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාව පත් කරගෙන තිබෙනවා.
ඒ එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (11) වන දින රැස්වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නාවුල සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසන සංවිධායක තිලක් බණ්ඩාර මහතා විසින් මාතලේ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායක ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ නම යෝජනා කළ අතර එම යෝජනාව දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත විසින් ස්ථීර කර පැමිණ සිටි පිරිස ඒකමතිකව ස්ථිර කළා.
හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මීට පෙර මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ගෙන කටයුතු කළ අතර ඔහු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන තිදෙනාම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.




