ලබන සතියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි නොකළහොත් පාන් සඳහා පාලන මිලක් ගෙන ඒමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
එහි වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කඩයක් සඳහා රුපියල් ලක්ෂයක් සහ සමාගමක් හෝ ආයතනයක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50ක් දක්වා දඩ නියම කිරීමට හැකියාව ඇති බවයි.
පාන් සඳහා නියමිත මිලක් නොමැති බවටත්, ඇතැම් පාන්වල නියමිත බර නොමැති බවටත්, පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව වරින්වර චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ අනුව, පාරිභෝගික සේවා අධිකාරිය වරින්වර ඒ සම්බන්ධයෙන් වැටලීම්ද සිදුකරනු ලැබුවා.
එවන් පසුබිමක ඉකුත් පෙබරවාරි 02 වැනිදා පාන් ගෙඩියක පැවතිය යුතු නියමිත බර ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.
එහි දැක්වුණේ, පාන් ගෙඩියක අවම බර ග්‍රෑම් 450ක් සහ පාන් බාගයක අවම බර ග්‍රෑම් 225ක් විය යුතු බවයි.
මෙවැනි වාතාවරණයක් තුළ ඉකුත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදන කළා.




