තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.
මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා බලපැවැත් වෙනවා.
මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේත් මහනුවරසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනඅතර ඇතැම් ස්ථානවල මි.මී.50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවන බව එම නිවේදනයේ සඳහන්.




