ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව වාර්තා වනවා.
පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව “නිදහසේ නවාතැන” නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් 13 වැනිදා මාකඳුරේ මදුෂ්ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණා.
පොලිසිය පැවසුවේ, එහි දකුණු පස “අපේ අයියේ….. එක එක්කෙනා එවනවා.අපි එනකම් බලාගන්න….” යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බවයි.
ක්ලබ් වසන්ත ඝාතනය වූදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලේදී වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිද) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බවද වාර්තා වනවා.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ ” පාතාලයේ හැම එකාම මදුෂ් ගිය තැනට යන්න සැරසියල්ලා” සහ “කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා.ව.බ යනුවෙන් සටහන් කර ඇතැයිද සඳහන් වනවා.
මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බැනරයක පෝස්ටර් දෙකක් අලවා ඇතැයිද වාර්තා වනවා.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ පොලිසි මගින් විමර්ශන කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවයි.




