විප්ලවය යනු මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන් වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
“අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩ කටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලු දෙනා එකට වැඩ කළ යුතුයි.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදු වන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. මීට වඩා සමාජ වාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන් වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙයය නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්ති යයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩ පිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලු දෙනාට ආරාධනා කරනවා.”




