මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් ඇතුළු ජනතාවගේ ගෙලට කඩුවක් තබා මරණ බිය ඇති කර, රන් ආභරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආභරණ වෙළඳසල්හිමියක්, කාන්තාවක් ඇතුළු සිව් දෙනකු කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසනවා.
කලක් තිස්සේ මරදගහමුල – දූනගහ අවට ගම්මානවල අතුරු මාර්ගවල පවා ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ සොයා ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වීමත් නිසා දිවුලපිටිය පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටියදී පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ ගොස් තිබෙනවා.
පොලිස් කණ්ඩායම යතුරුපැදිය හඹා යද්දී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටී පෙරලුණු අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේද සහයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
යතුරු පැදියටද බරපතල හානි සිදුවී ඇති අතර, එම යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ – හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම – හල්පෙ පදිංචිකරුවකු සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




