කුරානයට අපහාස කළ බව කියන පුද්ගලයෙකුව පාකිස්තානයේ ස්වාත් ප්‍රදේශයේදී වධහිංසනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි එරට පන්ජාබ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ පුද්ගලයා කුරානයට අපහාස කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේවෙතත් පොලිස් ස්ථානයට කඩා වැදී එහි දේපොළවලට ද පහරදී රථවාහනවලට ගිනි තැබූ පිරිසක් විසින් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයාව රැගෙන ගොස් ඇති බව ස්වාත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.
පසුව එම පුද්ගලයාට අමානුෂික ලෙස පහරදී ඇති ඔවුන් ඔහුගේ සිරුරට ගිනි තබා තිබේ.
එම අවස්ථාවේ විශාල පිරිසක් එහි රැස්ව සිට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 27 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.




