අධික මුදලක් වැය කරමින් කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවට පමණක් දෙවැනි වන ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද වයඹ ජනකලා කේන්ද්‍රයේ රංග ශාලාව මේ වනවිට මුළුමනින්ම පාහේ පරිහාණියට පත්ව තිබෙනවා.
එහි ඉදිකිරීම් කටයුතු ද මේ වනවිට අතරමඟ නැවතී තිබෙන බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල ඇතුගල් පුරවරයේ පිහිටා තිබෙන වයඹ ජනකලා කේන්ද්‍රය ඉදිවන්නේ 2001 වසරේදීයි.
මෙම ජනකලා කේන්ද්‍රය එකල සතියේ සෑම දිනකම වැඩ කටයුතු කරනු ලැබුවේ, වයඹ පළාතේ දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණින්.
එමෙන්ම සංස්කෘතික මධ්‍යස්ථාන හා කෞතුගාකාරවලින්ද එම ජනකලා කේන්ද්‍රය සමන්විත වී තිබෙනවා.
වයඹ පළාත් සභා ආණ්ඩුකාරවරයා විසින් පසු කලෙක එම භූමියේ රංග ශාලාවක් ඉදිකිරීමට යෝජනා කර එහි කටයුතු ආරම්භ කරන්නේද වේදිකා නාට්‍ය, ප්‍රසංග සඳහා එය යොදා ගැනීමේ අරමුණින්.
කෙසේවෙතත්, විවිධ දේශපාලන අත පෙවීම් සහ ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් එම රංග ශාලාවේ ඉදිකිරීම් අද වන විට අතරමග නැවතී තිබෙනවා.
2012 ආරම්භ වී වසර 10කට අධික කාලයක් ගතවී තිබුණත් රංග ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර නොතිබීමත් කනගාටුවට කරුණක්.
අද මෙසේ පරිහාණියට පත්ව තිබෙන මෙම රංග ශාලාව දෙවැනි වන්නේ මෙරට විශාලතම ප්‍රාසාංගික රංග ශාලාවවන නෙළුම් පොකුණ රංග ශාලාවට පමණක් බවත්, ඉතා විශාල මුදලක් ඇස්තමේන්තුගත කරමින් සැලසුම් කරනලද එම රංගල ශාලාවේ එකවර අසුන් ගැනීමට හැකි සංඛ්‍යාව 1200කට අධික බවත් සඳහන් වනවා.
එය නෙළුම් පොකුණ රංග ශාලාවේ ආසන සංඛ්‍යාවට වඩා අඩුවී ඇත්තේ හතක් පමණයි.




