බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර පවසනවා.
මෙරට පැවැති බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බවයි ඔහු සඳහන්කර සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම යාන්ත්‍රණය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි.
මෙම අදහස් පළවූයේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 05 රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී තවදුරටත් අවධාරණය වූයේ මෙලෙස යුධ අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවයි.
මෙම බාහිර යාන්ත්‍රණය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද, මෙරට හමුදා නායකයන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි එකතු කරමින් සිටින බවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ සර්ව ලෝක අධිකරණ බලය මත මෙරට හමුදා නිලධාරීන් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකි වීමයි.
මෙහිදී මෙරට පැවැති යුද්ධය ඒල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිදු කරන ලද්දක් නොව දෙමළ ජාතීන්ට එරෙහිව සිදු කරන ලද්දක් ලෙස හුවා දැක්වීමට මෙම බාහිර යාන්ත්‍රණයට හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙම ක්‍රියාකාරීත්වය මෙරට යුධ විරුවන්ගේ ස්වාභිමානයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ලාංකිය හමුදා සාමාජිකයන්ට එරෙහිව ලොව අනෙකුත් රටවල් මඟින් යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම නැවැත්වීමට වහා කටයුතු කළයුතු බවද අවධාරණය වුණා.
මෙහිදී කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා සිටියේ ජීනීවා මානව හිමිකම් සංවිධාන ගෙන එන ලද බාහිර යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සතුව පවතින උපාය මාර්ග මොනවාද යන්න සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරුවහොත් ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ඇති සුදානම පිළිබඳවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ජීනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවන්ට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් පළකර මේ සම්බන්ධව අපක්ෂපාතීව කටයුතු කරන රටවල් දැනුවත් කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කර ඇති බව යි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට කාරක සභාව හමුවට කැඳවන ලද නීතීඥ දර්ශන වීරසේකර මහතා ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවට බාහිර යාන්ත්‍රණය සාක්ෂි සහිතව බිඳ හෙළිය හැකි ශක්තිමත් දේශීය යාන්ත්‍රණයක් තිබිය යුතු අතර මේ සඳහා එල්.එල්.ආර්.සී වාර්තාව සහ පරණගම වාර්තාවේ කරුණු ඇතුළත් කර ශක්තිමත් දේශිය දත්ත ගොනුවක් සකස්කොට තිබිය යුතු බවයි.
ස්ථාපිත කිරීමට යෝජිතව ඇති සත්‍යය සහ ප්‍රතිසංධානය සම්බන්ධ කොමිෂන් සභාව මඟින් ද තවදුරටත් මෙරටට විරුද්ධව පවතින බාහිර බලවේගවලට සහයෝගයක් ලැබෙනු ඇති බවයි සරත් වීරසේකර ප්‍රකාශකර සිටියේ.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති පරිදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සංශෝධන සියල්ල සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.




