Tuesday, April 21, 2026
spot_img
spot_img

Breaking: රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළා.

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී තීන්දු කර තිබෙනවා.

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 9.30ට ප්‍රකාශයට පත් කෙරුණා.

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගල ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබුවා.

එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුන්10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලැබුවා.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කළේය.

ඉන් පසු මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැවරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළා.

විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූවා.

එහි විශේෂත්වය වන්නේ යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි.

එම වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් ඉදිරිපත් කර තිබුණු අතර සාක්කිකරුවන්ද 70කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබුණා.

කෙසේවෙතත්, නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිප දෙනකු පමණයි.

එසේම මෙම නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් වුණා.

නඩුවේ තීන්දුව මීට පෙර ලබාදීමට නියමිතව තිබූ දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියකු පැමිණ නොසිටි අතර ඔවුන් ලිඛිත දේශන ලබාදීමට ද ප්‍රමාධ වූ බව චූදිතයන්ගේ නීතිඥවරු දැනුම් දුන්නා.

රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...