ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ආසන්නයේ පවතින පසුබිමක වයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රජයේ එම සූදානමට අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
දකුණේ රජය නියෝජනය කරන දේශපාලනඥයන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව තවදුරටත් වාර්තා වෙනවා.
එසේ වුවහොත් දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස දිගු කලක් කටයුතු කරමින් සිටින විලී ගමගේ මහතා එම තනතුරෙන් විශ්‍රාම ලැබීමට නියමිත බවද පැවසෙනවා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් හිස් වන වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති නසීර් අහමඩ් මහතාගේ නම මෙන්ම මෑතකදී හදිසි අනතුරකින් අභාවප්රාප්තවූ දේශපාලනඥයෙකුගේ බිරිඳගේ නමද පවතින බව වාර්තා වෙනවා.
ඇය තම සැමියා සමග ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වූ ජනතාව අතරේ ජනප්‍රිය අයෙකු වුවද බොහෝවිට නසීර් අහමඩ් මහතාට එම තනතුර හිමිවනු ඇති බව විශ්වාස කෙරෙනවා.
මේ අතර, වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතට මාරු කිරීම නතර කරන ලෙස එම පළාතේ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.
ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඉදිරි දිනවල උන් වහන්සේලා විසින් මෙම ඉල්ලීම ලිඛිතව සහ වාචිකව සිදුකිරීමට නියමිතව ඇති බවයි.
ලක්ෂ්මන් අබේවර්ධන මහතා එම පලාතේ කටයුතු ඉතා හොදින් සිදු කරගෙන යන බැවින් ඔහු එම පළාතේම තවදුරටත් සේවය කිරීමට ඉඩ දිය යුතු බව මහා සංඝරත්නයේ අදහස වී තිබෙනවා.
කෙසේවෙතත් මේ පිළිබඳව රජය තවමත් අවසන් එකගතාවයකට පැමිණ නැහැ.




