බොරැල්ල පොලිස් වසමට අයත් මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස්. හන්දිය දෙසට කොළඹ නගරයට ඇතුළු වන මංතීරුවේ හදිසි මාර්ග අලුත්වැඩියා කටයුත්තක් නිසා රථවාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය දැනුම් දී ඇත්තේ ඩී.එස්. සේනානායක මාවතේ, ඩී.එස්. හන්දියට ආසන්න ප්රදේශයේ ජල නල පද්ධතියක හදිසි කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහා මේ වන විට එම මාර්ගයේ කැණීම් සිදු කරමින් පවතින බවයි.
එබැවින් කොළඹට ඇතුළුවන මංතීරුවේ රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තු මාර්ගය, කාසල් වීදිය සහ මොඩෙල් ෆාම් හරහා ඩී.එස්. සේනානායක මාවත ඔස්සේ කොළඹට පැමිණීමට අපේක්ෂා කරන රියැදුරන් වෙනුවෙන් පහත විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.
පළමු විකල්පය – මොඩෙල් ෆාම් හන්දියෙන් හැරී, පරණ බුලස් පාර ඔස්සේ කනත්ත වටරවුම හරහා ගමන් කිරීම.
දෙවන විකල්පය: ආයුර්වේද වටරවුමෙන් කොටා පාරට පිවිස, බොරැල්ල හන්දිය ඔස්සේ ගමන් කිරීම.
එසේම පොලීසිය රියැදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ඉහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.




