ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ජාතික තරුණ සේවා සභාවේ පරිගණක පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරීන් අතර ඊයේ (18) දින බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ, නොර්වුඩ්, දියසිරිගම ප්‍රදේශයේ පිහිටි ජාතික තරුණ සේවා සභාවට අයත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයට අයත් යැයි පැවසෙන අක්කර දෙකක ඉඩමක බිම් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
වසර 4කට පෙර නොර්වුඩ් නිව්වැලි වත්තේ ගිනිගෙන විනාශ වූ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් 11ක් දැනට නිව්වැලි වතුයායට අයත් පැරණි තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව පදිංචි කර ඇති අතර ඔවුන් වෙනුවෙන් ‘භාරත-ලංකා නිවාස යෝජනා ක්‍රමය’ යටතේ නිවාස ඉදිකර දීම සඳහා ජාතික තරුණ සේවා සභාවට අයත් යැයි පවසන ඉඩමේ බිම් සකස් කරන ලෙසට ලබාදී උපදෙස් අනුව ඊයේ දින බැකෝ යන්ත්‍රයක් යොදාගෙන බිම් සකස් කිරීමේදී ජාතික තරුණ සේවා සභාවේ පරිගණක පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරීන් ඊට සිය විරෝධය දැක්වීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙනවා.
අධ්‍යාපන ලබා නිවාසවල සිටින වතුකරයේ දරු දැරියන් වෙනුවෙන් පරිගණක පාඨමාලාවන් ඇතුළු විවිධ පාඨමාලාවන් එම පුහුණු මධ්‍යස්ථානය තුළ සිදුකරන බව ජාතික තරුණ සේවා සභාවේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් කියා සිටින අතර එම පුහුණු මධ්‍යස්ථානයට අක්කර දෙකක ඉඩම් කැබැල්ලක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ලබා දී ඇති බව ඔවුන් පවසනවා.
එමෙන්ම ඊට පහළින් විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙන බවත්, එම ඉඩමේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදි කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් අවසානයේදී නිලධාරීන්ගේ විරෝධය නොතකා අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ උපදෙස් පරිදි එම භූමියේ බැකෝ යන්ත්‍රයෙන් අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ සිහිනය පෙන්වමින් බිම් සකස් කිරීම සිදු වූ බවටයි වාර්තා වන්නේ.




