රටේ සම්පත් හොරා කෑ අය නිදැල්ලේ සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට වත්මන් ජනාධිපති කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දින සිට නොනිදන සංවර්ධනක් කරා රට මෙහෙයවන බවත්, ඉදිරියේ ක්‍රියාත්මක රාජ්‍ය පාලනය හිතවත්කම් වෙනුවට විද්‍යාත්මක කුසලතාව කේන්ද්‍ර කර ගත් දක්ෂයන් කණ්ඩායමකට භාර දෙන බවත් ඔහු සඳහන් කළා.
විපක්ෂනායකවරයා සඳහන් කළේ, කුප්‍රකට ක්රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ කල් දමන සංස්කෘතියට තිත තබා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ශක්තිමත් කරමින් කලට වේලාවට ජනතාවට ඡන්ද බලය දී ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂා කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හොටලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා.
ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතිවාසිකම් ද රටේ මූලික අයිතිවාසිකම් බවට පත් කරන නව ව්‍යවස්ථාවකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් නිවසේ ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගත නොහැකිව මහා පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියා.
එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි කාල වකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ සාර්ථක වැඩසටහනක් රටට ලබා දෙන අතර, ඒ යටතේ ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය ආදී ප්‍රධාන ගුණාංගවලින් සමන්විත වැඩසටහනක් කරා යන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.




