රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීමට, තමා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහමහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්ර භාර දීමෙන් අනතුරුව ඒ අසල රැස්ව සිටි ආධාරකරුවන් අමතමින්.
මැතිවරණයක් පැවැත්වීමට තබා, ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක්, වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට, රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා.
එදා ගිනිගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින්, ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළා නම්, අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බවයිරනිල්වික්රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.




