මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් තිබුණා.
නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස වල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණයි.
පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙනවා.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110 ක් පවතිනවා.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පැවසුවා.




