අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිස් නිලධාරීන් විසින් යොදා ගන්නා වේග සීමා පරීක්ෂා කිරීමේ වේගමාපක උපකරණ බොහෝමයක් මේ වන විට අක්‍රියව පැවතීම හේතුවෙන් අධික වේගයෙන් ධාවනය වන වාහන, නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වී ඇති බව රථවාහන පොලිස් නිලධාරීන් පවසනවා.
ක්‍රියාකාරී මට්ටමේ පවතින වේග සීමා පරීක්ෂා කිරීමේ යන්ත්‍ර මේ වනවිට ඇත්තේ දිස්ත්‍රික්කයකට එකක් හෝ දෙකක් පමණක් බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ජාතික විගණන කාර්යාලය සඳහන් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලීසියට 2016 වසරේ වේග සීමා පරීක්ෂා කිරීමේ යන්ත්‍ර 25ක් මිලදී ගැනීමෙන් පසු මෙතෙක් එම යන්ත්‍ර මිලදීගෙන නැති බවය. 2018 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වේගමාපක යන්ත්‍ර 500 බැගින් ඉල්ලුම් කර ඇතත් එයින් කොටසක් හෝ මිල දී ගෙන නොමැත. අධික වේගයෙන් රථවාහන ධාවනය කිරීම අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන නමුත් එය අවම කර ගැනීමට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාකර නැති බව ජාතික විගණන කාර්යාලය අවධාරණය කරනවා.
එක් පොලිස් ස්ථානයකට එක් වේගමාපක යන්ත්‍රයක් නොතිබුණත් එක් පොලිස් කොට්ඨාසයකට එක් යන්ත්‍රය බැගින් හෝ වේගමාපක යන්ත්‍රයක අවශ්‍යතාව තදින්ම පැනනැඟී ඇති බැවින් යන්ත්‍ර 50ක්වත් මිල දී ගැනීමේ උත්සාහයක මේ වනවිට නිරතව සිටින බව රථවාහන අංශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.




