තර්ජන එල්ල වූ බන්ධනාගාර නිලධාරීන්ට ආරක්‍ෂාව ලබා දීමට පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තර්ජන සහ බිය වැද්දීම් සිදු වන බවට බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව ය.
පසුගිය දා ගාල්ල, බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුට සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් තර්ජන සිදු කර තිබිණි.
බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාගේ කටුනායක නිවසට ඉකුත් 11 වන දා පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු බන්ධනාගාර අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ රැඳී සිටින හීනටියන සංඛ නමැත්තාගෙන් යැයි පවසා දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.
එහිදී එම සංවිධානාත්මක අපරාධකරු පවසා ඇත්තේ, බූස්ස බන්ධනාගාරයේ සිදු කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙස ය.
පසුගිය දිනවල බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබූ දුරකතන කිහිපයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි සාමාජිකයන් විසින් බන්ධනාගාර අධිකාරිවරයාගෙන් විමසීමක් පවා කර තිබිණි.
එම දුරකතන අත්අඩංගුවට ගැනීම මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයා විසින් සිදු කිරීම ඊට හේතුව ය.
තම පියාට කළ තර්ජනය සම්බන්ධයෙන් සහකාර අධිකාරිවරයා පොලිසියට ද පැමිණිලි කර ඇති අතර ඔවුනට පොලිස් ආරක්‍ෂාව ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත ලිපියකින් ද දැනුම් දී තිබිණි.
පසුව පොලිස්පතිවරයා විසින් ම නිලධාරීන්ගේ නිවසට ආරක්‍ෂාව සපයන ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.




