spot_img
spot_img

ගෝඨාභය පත්කළ කොමිසමකට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගය ඊයේ (15) අවසන් කෙරුණා.

අදාළ පෙත්සම් ඊයේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අතර ඊට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පත් කෙරුණු පරීක්ෂණ කොමිසමේ නිර්දේශ බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගැනුණා.

ඒ විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.

එහිදී එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් කියා සිටියේ තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කලත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

තම සේවාදායකයින් විසින් පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා නොදුන් බව පෙත්සම් වලින් චෝදනා කර තිබුණත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙවැනි කරුණක් මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා අභියෝගයට ලක් කළ නොහැකි බවද අධිකරණයේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ සහ සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි නීතිපතිවරයා දැනටමත් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී ඇති නිසා මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබුණා.

ඒ අනුව අදාළ කොමිසමේ වාර්තාව තුළින් කිසිදු පාර්ශවයකට අගතියක් සිදු නොවන අතර කිසිදු පුද්ගලයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද සිදු නොවන බැවින් ඒවා නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වන ලාල් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ පුත්‍රයාට අධිකරණය මගින් නියම කර තිබෙන දඩුවමට අදාළව පරීක්‍ෂණ කොමිසම වෙත පැමිණිල්ලකින් ඉදිරිපත් කළ බව සඳහන් කළා.

රන්ජන් රාමනායක සහ අදාළ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන්ම විනිසුරුවරියක් අතර ඇතිවූ දුරකථන ඇමතුම් හඬපට සම්බන්ධයෙන් සිය සේවාදායකයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කර ඇති බවත් සදහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් සුදුසු තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...