spot_img
spot_img

දසවන පාර්ලිමේන්තුවේ නව සභාවාරය අද – වැඩි වැඩ නැහැ

දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතයි.

ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදීඊයේ (20) පැවැත්වුණා.

අද පෙරවරු 9:55ට ගණපූර්ණ සීනුව නාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙරවරු 10:00ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ඇති.

පළමුව කතානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6 හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කතානායකවරයා තෝරා පත්කර ගැනීම, කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබීමට නියමිතයි.

පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවීම විශේෂත්වයක්.

මෙම මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙරවරු 11:30ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දසවන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බව ත් ඒ අනුව ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව ත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න පැවසුවා.

මේ අනුව පෙරවරු 11:00 පමණ වන විට සියලු ආරාධිතයන් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11:10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ කතානායකවරයා පිළිගැනීමට නියමිතයි.

අනතුරුව පෙරවරු 11:15ට අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ගරු ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පෙරවරු 11:20ට කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලබනවා.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙරවරු 11:25 ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කතානායකවරයා සහ මහ ලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.

සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කතානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සභාව කල් තැබීමට නියමිතයි.

දසවන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව ද වේත්‍රධාරී කුෂාන් ජයරත්න වැඩිදුරට ත් සඳහන් කළා.

ඒ අනුව මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E – Invitations) යොමුකොට ඇති බව ද වේත්‍රධාරීවරයා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...