spot_img
spot_img

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ පෙත්සම් විභාගය කල් යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කටඋත්තරවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ නෞකා අනතුර හේතුවෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම් අද (09) මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් දුන් නියෝගය පරිදි අදාළ නෞකා අනතුර සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශවල පිටපත් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා.

ඊට අමතරව සිද්ධියට අදාළව හාබර් මාස්ටර්වරයාගේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා.

එසේම මෙම අනතුර හේතුවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීම වෙනුවෙන් එක්සත් රාජධානියේ ගොනුකර තිබෙන නඩුවට අදාළ ලේඛන ද මෙම අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවත් සඳහන් කෙරුණා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් පුරවැසියන්ට මෙන්ම සියලු පාර්ශ්වයන්ට යුක්තිය ඉටුවන අයුරින් මෙම සිද්ධියට අදාළ නීති කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය හා සිංගප්පූරුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අදාළ පෙත්සමේ වගඋත්තරකාරියක ලෙස නම්කර සිටින සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ව රජය විසින් කරුණු ඉදිරිපත් කිරීමේදී එකිනෙකට පරස්පර කරුණු මෙන්ම ඇතැම් වැදගත් කරුණු ඉදිරිපත් කිරීම මඟහැරී තිබෙන බවත් සඳහන් කළා.

එබැවින් ඊට අදාළ ලේඛන ගොනු කිරීම සඳහා තමන්ට කල් ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ පංච පුද්ගලික විනිසුරු මඩුල්ල අදාළ ලේඛන මේ මස 23 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනියට නියෝග කෙරුණා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 5 වනදා තෙක් කල්තැබීමටත් පියවර ගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...