spot_img
spot_img

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතයි.

කඨින පුජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බව විවිධ පාර්ශව මත පළ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා,

“2024 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ 14 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඒ වගේම පසුගිය දිනවල සමාජයේ කතිකාවතක් තිබුණා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ආශ්‍රිතව කඨින පුජා පිංකම් පැවැත්වෙන නිසා ඡන්ද විමසීමට බාධාවක් බවට යම් යම් සංවිධානවලින් පැමිණිලි සහ යම් අදහස් පළ වෙමින් තිබුණා. ඒ අනුව අපි සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසා සිටියා. විහාරස්ථාන 2,263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා.”

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (06) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (04) දිනයේ දී ද සිදුකෙරුණු අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ඡන්දදායකයින් සඳහා මෙම මස 07 සහ 08 යන දිනවල ද ඊට අවස්ථාව සැලසෙනු ඇති.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75%කට අධික ප්‍රමාණයක් නිවාස වෙත බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...