හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (03) පැය දෙකක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමටයි.
අද පෙරවරු 10ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ඔහු දහවල් 12.20ට පමණ ඉන් පිටව ගිය බවයි වාර්තාවන්නේ.
පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මාර්තු 22 වන දින ප්‍රකාශයක් සිදු කළා.
එම ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මාර්තු 25 වන දා මෛත්‍රීපාල සිරිසේන මහතාව කැඳවා තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 6කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශය ඉදිරි නෛතික කටයුතු සඳහා මෙලෙස නීතීපතිවරයා වෙත යොමු කරනු ලැබුවා.




