ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) එක්සත් ජාතික පක්ෂයේ පැවැත්වුණු විශේෂ රැස්වීමකදීයි.
එහිදී සමඟි ජනබලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහ පක්ෂ මහලේකම් ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
එමෙන්ම ජනාධිපතිවරණයේදී තම පාර්ශවට ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණු මහමැතිවරණයට තරඟ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගත හැකිද විමසන අතර එය ලැබුණහොත් එම සලකුණින් ඉදිරියට යන්න කටයුතු කරන බව ඔහු කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ වන විට විදෙස් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වන බව ද ආශූ මාරසිංහ මහතා මෙහිදී කියා සිටියා.




