පිළිගත් තක්සේරු ක්‍රමවේද අනුගමනය නොකර කුරුණෑගල මහ නගර සභාවට අයත් සාප්පු සංකීර්ණවල ඇති කඩ කාමර පසුගිය පාලන සමයන්වලදී හිතුමතේට බද්දට ලබාදීමට යාමෙන් නගර සභාවට මේ වන විට විශාල මුදලක් අහිමි කර ඇති බව විගණන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වාදී තිබේ.
කුරුණෑගල මහ නගර සභාව සඳහා නිකුත් කරන ලද 2023 විගණන වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.
කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම්පොළ, එම්.සී. ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ඉදි කරමින් පවතින ඔරලෝසු කණුව අසල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ, වැහැර පොදු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර බදු දීමේදී සිදුව තිබෙන අක්‍රමිකතා රැසක් හේතුවෙන් මහ නගර සභාවට මේ ආකාරයට විශාල මුදලක් පසුගිය වසර කිහිපයකදී අහිමි කර ඇති බව එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
පළාත් පාලන ආයතනයකට අයත් දේපළක කුලී හා අවම ලංසු වටිනාකම ප්‍රධාන තක්සේරුකරු හෝ පළාත් පාලන ආයතනය විසින් පත් කරනු ලබන සුදුසුකම් ලත් තැනැත්තන් විසින් තක්සේරු කළ යුතු වුවද එම උපදෙස් අනුගමනය නොකර ආදායම් පරීක්ෂකවරයකුගේ තක්සේරුවට අනුව මෙම කඩ කාමර බදු දීම සිදු කර ඇති බව එහි සඳහන් වේ.
එම්.සී. ප්ලාසා කඩ කාමර බදු දීමේදී අවබෝධතා ගිවිසුමට අනුව ගිවිසුමට එළැඹි දින සිට මාසික කුලී මුදලක් ගෙවිය යුතු වුවද ඇතැම් කඩ කාමර සඳහා වසරකට ආසන්න කාලයක හිඟ මුදල් අයකර ගැනීමට පියවර ගෙන නොමැති බව ද, ඇතැම් කඩ කාමර ගිවිසුම්ගත පුද්ගලයන් වෙනුවට වෙනත් පුද්ගලයන් අතට පත්ව තිබෙන බව ද මෙම විගණන විමසුමේදී අනාවරණය කරගෙන තිබේ.
මෙහි එක් කඩ කාමරයක් සඳහා වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාගෙන් ලැබිය යුතු හිඟ මුදලක් වන රුපියල් 64,06,639ක විශාල මුදලක් අයකරගෙන නොතිබූ අතර ඒ සඳහා ගිවිසුම්ගත නොවී හිස් අවබෝධතා ගිවිසුමක් ලිපි ගොනුවකට ඇතුළත් කර තිබූ බව ද හෙළිවී තිබේ.
වර්ෂ 2013 දී ඉදි කරන ලද වැහැර පොදු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමරවලින් වැඩි ප්‍රමාණයක් විගණිත දින වනවිට ද බදු දීමට නොහැකිව තිබූ බව ද තක්සේරු වාර්තාවකින් තොරව කොටසක් සතොස ආයතනයට බදු දීමෙන් නගර සභාවට රුපියල් 34,81,795ක අලාභයක් සිදුවී ඇති බව ද විගණනයේදී නිරීක්ෂණයට ලක්ව ඇත. වාර්ෂික පදනම මත ටෙන්ඩර් කර බදු දිය යුතු වුවද මෙහි එක් කොටසක් ටෙන්ඩර් කිරීමකින් තොර එවකට පැවැති පරිපාලනයේ සභා අනුමැතියක් යටතේ බදුදී තිබූ බව ද කියැවේ.
එසේම සභාව සතු දේපළක් බදු දීමේදී ඒ සඳහා ලබා දෙන ජල හා විදුලි සම්බන්ධතාවය නගර සභාව යටතේ පැවැතිය යුතු වුවද වැහැර වෙළෙඳ සංකීර්ණයේ එක් කඩ කාමරයක් සඳහා විදුලිය බදුකරුවන්ගේ නමින් ලබාදී ඇති බව ද විගණනයේදී අනාවරණය කරගෙන තිබේ.
මධ්‍යම වෙළෙඳපොළ සාප්පු සංකීර්ණයේ කඩ කාමර බදු දීමේදී බදු ලබා දීමේ ක්‍රමවේදය උල්ලංඝනය කරමින් විනිවිදභාවයෙන් තොරව ලබාදී ඇති බව ද හෙළිකරගෙන තිබේ. මෙය කුරුණෑගල නගර මධ්‍යයේ ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ස්ථානයක් වන බැවින් ඉහළ වටිනාකමකට බදු දීමට හැකියාව තිබියදීත් බිම් මහලේ කඩ කාමර 23ම එක් ඉල්ලුම්කරුවකුට බදු දීමට එවකට පැවැති නගර සභාවේ පාලනාධිකාරිය තීරණය කළේ කුමන පදනමක් යටතේදැයි මෙම විගණන විමසුමෙන් ප්‍රශ්න කර තිබේ.
මෙහි කඩ කාමර 29 කින් 2023.12.31වන දිනට රුපියල් කෝටි 9කට අධික මුදලක් අයවීමට තිබෙන අතර බදුකරුවන් එම ගෙවීම් පැහැරහැර තිබෙන බව එහි සඳහන් කර ඇත. ඊට අදාළ දඩ මුදල් හෝ කී මනී ගෙවීම් ද අවසන් කර නොතිබීම සැලකිල්ලට ගෙන එම කඩ කාමර නැවත පවරාගෙන නැවත ටෙන්ඩර් කළ යුතු වුවද එසේ කිරීමට ද සභා බලධාරීන් කටයුතු කර නොතිබූ බව ද මෙහිදී පෙන්වාදී තිබේ.
එසේම මෙහි කඩ කාමර 31ක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නැති බවද ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලේ ඇති කඩ කාමර 94න් 30ක්ම නැවත ටෙන්ඩර් කර ලබා දීමට කටයුතු නොකර නිශ්කාර්යව පවතින බව ද විගණනයේදී නිරීක්ෂණයට ලක්ව ඇත. සමාලෝචිත වර්ෂය අවසාන දිනට ලැබිය යුතු කඩ කුලී හිඟය රුපියල් ලක්ෂ 81 වන බව ද වාර්තාවේ සඳහන්ය.
ලැබිය යුතු හිඟ ශේෂ අයකර ගැනීමට කටයුතු නොකිරීම, කාල විශ්ලේෂණ ඉදිරිපත් නොකිරීම, කඩ කාමර කාලීනව තක්සේරු නොකිරීම, වත්කම් තක්සේරු කර ගිණුම්ගත නොකිරීම ආදායම් නිවැරැදිව හඳුනාගෙන ගිණුම්ගත නොකිරීම ආදී විගණනයේදී අනාවරණය වූ අඩුපාඩු වරින්වර කුරුණෑගල මහා නගර සභාවේ විශේෂ අවධානයකට යොමු කර ඇති බව ද විගණකාධිපතිවරයා තම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.(දිනමිණ)




