ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම අවසන් එකඟතාවයට පැමිණිමෙන් අනතුරුවයි.
අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට එළැඹ තිබෙනවා.
මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වුනා.
නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන්, මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට මෙන්ම චීනයේ අපනයන ආනයන බැංකුවට මෙන්ම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකවම ස්තූති පළ කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කලා.
ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කරගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රසංශා එක් කරන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කරන සහ වර්ධනයට හේතු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මෙම සන්ධිස්ථානය කරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නොසැලෙන කැපවීම සහ නායකත්වය ඉවහල් වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බව ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.




