ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
2026 මැයි මාසයේදී 5.5%ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ජූනි මාසය වන විට 6.8%ක් දක්වා වැඩි වී තිබේ.
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන වෙනස සිදුව ඇත්තේ ආහාර කාණ්ඩයේ වන අතර, මැයි මාසයේදී 0.9%ක් ලෙස ඉතා අඩු මට්ටමක පැවැති ආහාර උද්ධමනය ජූනි මාසයේදී 3.6% දක්වා තුන් ගුණයකට වඩා වැඩි වී ඇත.
එමෙන්ම මැයි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද ජූනි මාසය වන විට 8.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.




