ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව 35%ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බවයි.
2023 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා.
කෙසේවෙතත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 06 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව තෝරාගත් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට මුදල් අමාත්‍යංශය අවසර ලබා දී තිබෙනවා.
ප්‍රතිඅපනයනය කිරීම සඳහා අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයින්ට පමණයි.
මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීමේ බලය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා වෙත පවරා ඇති බවයි.




