මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇති බවට වාර්තා වනවා.
මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළා
මේ අතර හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇති බවටයි අනාවරණය වන්නේ.
මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.
නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන අතර මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
මන්ත්‍රීවරුන් 110කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතයි.




