ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අධිකරණය හමුවේ නීත්‍යනුකූලව විසඳා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් පළවන ඇතැම් ප්‍රකාශ පිළිබඳව ද එමඟින් පැහැදිලි කර තිබේ.
අදාළ ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වත්මන් ලේකම් ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන් නොවැම්බර් 06 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
එහිදී දෙපාර්ශ්වය විසින් අධිකරණයේ විභාග වන නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ අර්බුදය අධිකරණය මඟින් විසඳා ගැනීම සුදුසු බවට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති බවට පළවන තොරතුරු අසත්‍ය බව ද කොමිසම අවධාරණය කරයි. පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වන අතර, පවතින ගැටලුව ලේකම් ධුරයට පමණක් අදාළ බව එම කොමිසම පැහැදිලි කර තිබේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම ප්‍රකාශ හේතුවෙන් පක්ෂ සාමාජිකයන් සහ ජනතාව නොමඟ යා හැකි බැවින් නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව ද පක්ෂය පවසයි.
කෙසේ වෙතත්, ලේකම් ධුරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ පවතින නඩුවේ තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.




