spot_img
spot_img

විදේශයන්හි ත්‍රස්ත කණ්ඩායම්වලට එක්වීම වැළැක්වීමට නව පනත් කෙටුම්පතකට අනුමැතිය

විදේශයන්හි සංචාරය කර ත්‍රස්ත කණ්ඩායම්වලට එක්වීම හෝ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සහභාගී වීම වැළැක්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයෙන් පැවති කාරක සභා රැස්වීමකදී දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 2014 සැප්තැම්බර් මාසයේදී සම්මත කළ 2178 යෝජනාව ක්‍රියාත්මක කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.

ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතවීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් වීම සහ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්ත පුහුණුව ලබාදීම හෝ ලබාගැනීම ඇතුළු වැරදි කිහිපයක් මෙම නීතියට ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ. යෝජිත නීතියේ සඳහන් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් විදේශයන්හි සිදුකරන ඇතැම් ත්‍රස්තවාදයට අදාළ වැරදි සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව තුළ නීතිමය පියවර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම නීති කෙටුම්පත විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජනවාර්ගිකත්වය පදනම් කරගෙන ඔවුන් ඉලක්ක කරගැනීමේ අරමුණින් සකස් කර නොමැති බව සාකච්ඡාවේදී නිලධාරීන් අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, කාරක සභාවේ අනුමැතිය හිමිවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා ඊට විරෝධය පළ කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඔක්තෝබර් 20 වැනිදාය. එය නීතියක් බවට පත්වීමට තවදුරටත් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කළ යුතුය.

සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...