ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ විනය කඩ කිරීමට එරෙහිව අමාත්‍ය බන්දුල ගුණ්වර්ධන මහතා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව හෝමාගම පොලීසිය පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා තමාට කිසිදු දැනුම් දීමක් සිදු නොකර හෝමාගම දේශපාලන බල මණ්ඩල රැස්වීමක් සංවිධානය කළ බව පවසමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත්, එවැනි කරුණක් සඳහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බව පොලීසිය පවසා තිබෙනවා.
මේ පිලිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.
ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.




