පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළා.
අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවා.
මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරගන්නා ලෙසයි.
මේ අතර පොසොන් පොහොයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන හොල්මන් මන්දිර වැනි දෑ තහනම් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරෝතු වන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කළා.
ඔහු පෙන්වාදෙන්නේ අදාළ වැඩසටහන් මඟින් පොසොන් පොහොයේ මූලික අරමුණට හානි සිදුවන බවයි.
එවැනි බෞද්ධාගමට පටහැනි වැඩසටහන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව අද දිනයේ නීති උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර හිටපු ආමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පිහටවනු ලැබූ ගාමිණි ජයවික්‍රම පදනම විසින් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ පුන්‍යකර්මයක් සංවිධානය කර තිබෙනවා.
බෝපිටිය සුදර්ශනාරාම පුරාණ විහාරයේදී ජුනි 22 පෙරවරු 09.00ට මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිතයි.
ගැමි ජය පදනම විසින් මෙය සංවිධානය කරනු ලබනවා.
ඔබත් පැමිණ ලේ බිදක් දන්දෙන ලෙසට ගැමි ජය පදනම සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා.




