නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමටත්, ටැබ් පරිගණක ලබා දීමටත් යෝජනා කර ඇති පරිසරයක් තුළ පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක වැසිකිළිවල අපිරිසුදුභාවය නිසා මුත්‍රා නොකිරීමෙන් රෝගී වූ දරුවෙකු පිළිබඳව බීබීසී සිංහල සේවය වාර්තා කරනවා.
සිද්ධියට මුහුණ දුන් 13 හැවිරිදි දරුවා එම පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඔහුගේ සැබෑ නම හෙළි නොකර මාධ්‍ය ආචාර ධර්ම රකිමින් බීබීසී සිංහල සේවය ඊයේ මෙම පුවත වාර්තාකර තිබුණා.
“අම්මේ මගේ බඩ රිදෙනවා. මුත්‍රා කරන්නත් අමාරුයි,” එම දරුවා මුලින් ම සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය මව දැනුවත් කර තිබෙනවා.
එදිනෙදා නිවෙස්වල සේවය කරමින් ජීවිකාව සපයා ගන්නා ඔහුගේ මව සිය පුතුගේ අමාරුකම් ඉවසිය නොහැකි තැන වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇත්තේ වෙන කරන්න යමක් ඉතිරිව නොතිබූ නිසාවෙන්.
එහිදී, ඇයට දැන ගන්නට ලැබුණේ සිය පුත්‍රයාට මුත්‍රා අඩස්සි තත්ත්වයක් ඇති වී ඇති බවයි.
වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීමේදී දරුවා ප්‍රකාශ කර තිබුණේ, පාසලේ වැසිකිළි අපිරිසුදු හෙයින් පාසල නිම වී නිවසට පැමිණෙන තුරු මුත්‍රා නොකර සිටීමට ඔහු පුරුදු වී සිට ඇති බවටයි.
බීබීසී සිංහල සේවය : https://www.bbc.com/sinhala/articles/c3g97dnjkygo




