පාකිස්තානයේ නව ජනාධිපතිවරයා ලෙස අසිෆ් අලි සර්දාරි තේරීපත්ව තිබෙනවා.
ඔහු පාකිස්තානු ජනාධිපති ධුරයට තේරීපත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.
පාකිස්තාන මහජන පක්ෂයේ (Peoples Party) සමසභාපති වන සර්දාරි, පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල ඡන්දයකින් පාලක සභාගයේ සහාය ඇතිව මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.
පාකිස්තාන මැතිවරණ කොමිසම ඊයේ (09) නිවේදනය කළේ, සර්දාරි ඡන්ද 411ක් ලබාගෙන ඇති බවයි.
කෙසේ නමුත් ඔහුගේ ප්‍රතිවාදිය වූ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සහාය දක්වන මෙහ්මූඩ් ඛාන් අචක්සායි හිමිකරගෙන ඇත්තේ ඡන්ද 181ක් පමණයි.
සර්දාරි මීට පෙර පාකිස්තානයේ 11වැනි ජනාධිපතිවරයා ලෙස 2008 වසරේ සැප්තැම්බර් මසදී තේරී පත් වුණා.
වසර 05ක් බලයේ රැඳී සිටිමෙන් අනතුරුව 2013 වසරේදී එම ධුරය අවසන් කළ අතර, 1955 වසරේදී උපත ලැබූ සර්දාරි සැලකුනේ පාකිස්තානනයට නිදහස (1947) ලැබීමෙන් පසු ඉපදී, ජනාධිපති පුටුවට පැමිණි පළමු පුද්ගලයා ලෙසින්.
අසීෆ් අලී සර්දාරි යනු මුස්ලිම් අතිබහුතරයක් සිටින පාකිස්තානයේ අගමැති ධුරයට තේරීපත් වූ පළමු නායිකාව වන අභාවප්‍රාප්ත බෙනාසීර් බූතෝගේ සැමියායි.
සර්දාරි බොහෝ දුරට අද (10) සිය ධූරයේ දිවුරුම් දීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් පාකිස්තානු විපක්ෂය පවසන්නේ, සර්දාරිගේ තේරී පත්වීම ව්‍යවස්ථා විරෝධී බවයි.




