සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම්මුතියක හැඩරුව – හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිරිකොතට නැවත පැමිණීමේ හැකියාව පිළිබඳව අදහස් පලවනවා.
දක්ෂිණාංශික දේශපාලන බලවේග එක්සත් කිරීමේ නව යෝජනාවක්, 2020 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය පිහිටුවූ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම, දැන් නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතියකට පැමිණීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවටයි වැඩිදුරටත් ආරංචි වන්නේ. මෙම සාකච්ඡා සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම බලාපොරොත්තු වන අතර, එය ශ්‍රී ලංකාවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග එක්සත් කිරීමේ සැලකිය යුතු පියවරක් විය හැකි බවට දේශපාලන විචාරකයින් මත පළකරනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරනවා.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ලංකාවේ නැති බැවින් එතුමා ආ විගස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බවත් සියලුම දක්ෂිණාංශික බලවේග සදහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවද මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරනවා.
වැඩි දුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා
“රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපි විශ්වාස කරනවා මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලුදෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත් වෙන්න අපි කටයුතු කළ යුතුයි කියලා. සජබය, යුඑන්පි කණ්ඩායම් එකතු කරගෙන ඉදිරියේදී ගමනක් යා යුතුයි කියන මතයේ අපි ඉන්නවා.”
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මේ බව සදහන් කළා.




