දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව ජුලි මස 30 වැනිදා දක්වා මෙම ප්‍රකාශ භාරදිමේ හැකියාව පවතිනවා.
එම කොමිසම සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර ගැනීම සිදු කරන බවයි.
ඒ අනුව, නව නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩ ගණනාවක් නව නීතිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදිය යුතු වනවා.
අල්ලස් කොමිසම පවසන්නේ නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන සභිකයන් සහ මාණ්ඩලික නිලධරීන් වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බවයි.
මීට අමතරව විනිසුරුවරුන් සහ රජයේ නිලධරීන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධරීන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන අධිකරණ නිලධාරීන් සහ ලේඛනගත රජයේ නිලධරීන් ද අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන් ද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, කොමිෂන් සභාවේ සභාපතිවරුන් හෝ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන් ද මේ අතරට ඇතුළත්.
දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk පළ කර ඇති බව ද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළා.




