2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
ඒ, 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් වනවා.
ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලින් 60%ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්රචාරක වියදම් ලෙස දැරිය හැකි වනවා.
ඊට අමතරව ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.
මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වනවා.
අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම වාර්තාව සැකසීමේදී ප්රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය, ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බවයි.
ඒ අනුව එහි ප්‍රචාරණ දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, පතාක, සිතුවම්, පෝස්ටර් ආදියේ වියදම් මෙන්ම ගුවන් විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍යයක කරන ප්‍රචාරණ වියදම් මෙන්ම වාහන ධාවනයට ඉන්ධන සැපයීම ආදිය සඳහා ගෙවීම් සිදුකළේ ද නැද්ද යන්න තහවුරු කරන බිල්පත් කුවිතාන්සි, ගෙවීම් රහිතව ලබාගන්නේ නම් එම සේවාව ලබාදුන් තැනැත්තාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය ඇතුළත් කළ යුතුයි.
කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රවාහන කටයුතු සඳහා සහ ලිපිද්‍රව්‍ය, දුරකථන හෝ වෙනත් ආකාරයක සන්නිවේදන කටයුතු සඳහා කරනු ලැබූ වියදම ඇතුළත් කළ යුතු නොවන බවද සඳහන්.
එම තොරතුරු නියමිත කාලයට පෙර ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් සහ වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් සහ පමණ ඉක්මවා වියදම් කළහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියමවීම හෝ ධූරය අහිමිවීම, වසර තුනක් සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම හෝ අපේක්ෂකයකුවීමේ අයිතිය අහිමිවීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් හෝ ණය වශයෙන් ලබා ගෙන ඇති සියලුම තොරතුරු ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කළ යුතු වනවා.
එමෙන්ම ඉක්මවා මුදල් වැය කළහොත් එම අපේක්ෂකයා වැරදිකරුවකු වන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා ඊට අදාළව පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.




