ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරඟ කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්රයක් මඟින් ප්රකාශයට පත්කර තිබෙනවා.
සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් වන බව සඳහන්.
ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් 60%ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්රචාරක වියදම් ලෙස දැරිය හැකි වනු ඇති.
ඊට අමතරව ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිශන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ එම වාර්තාව සැකසීමේ දී ප්රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බවයි.
නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක්රියාවක් වන වරදක් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.




