සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් විය.
දෙරට අතර පළමු තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ කඩුලු 07ක් දැවී ලකුණු 230ක් පමණක් වූ අතර, එම ඉලක්කය පසුකර යෑමට ඉන්දියාවට නොහැකි විය.
එම තරගයේදී ඉන්දියාව රැස්කළේද ලකුණු 230ක් වූයෙන් තරගය ලකුණු සමව අවසන් විය.
පෙර තරගයේ මෙන් අද තරගයේදීද කණ්ඩායමේ බර කරට ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් හා එක් හතරේ පහරක්ද ඇතුළත් විය.
මෙහිදී දුනිත්, කමිඳු මෙන්ඩිස් සමගින් 07වැනි කඩුල්ලට පන්දු 68කින් වටිනා ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගීමටද වගබලාගත්තේය.
ඉනිමේ අවසන් පන්දුවාරය දක්වා රැඳී සිටි කමිඳු මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට ලක් වූ අතර, ඒ වනවිට ඔහු ලකුණු 40ක් රැස්කරගෙන සිටියේය.
ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කට මුහුණදෙමින් ලකුණු 40ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස්ද පන්දු 42කින් ලකුණු 30ක් රැස්කළේය.
ඔවුන් දෙදෙනාද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101කින් ලකුණු 74ක් ඉනිමට එක්කළහ.
මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර, තරගයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගියේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී දඟපන්දු යවන වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් දවාගත් අතර, කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.




