කැබිනට් මණ්ඩලය විසින් කුමන තීරණයක් ගනු ලැබූවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ නඩුව අවසන් වන තුරු ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාදිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා.
පොලිස්පතිවරයාගේ තනතුර සහ එහි නීතිමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අධ්‍යයනය කිරීමට කැබින්නට් මණ්ඩලය තීරණය කර ඇති බවට පළ වූ පුවත්වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ කැබිනට් තීරණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබූ තිරණ අවලංගු කළ නොහැකි බවයි.
දේශබන්දු තෙන්නකෝන්ට මහතාට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පැහැදීලි කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඊයේ (24) නිකුත් කළා.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කරනු ලැබුවා.




