කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදෙන වතාරණයක් උද්ගත වන බව, නීතීඥ සාමුහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඔවුන් පවසන්නේ, එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.
මේ හරහා ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවනවා.
ඔවුන් තවදුරටත් පවසන්නේ, ජනමත විචාරණයක් පැවැත්වීම යනු රුපියල් බිලියන ගණනන් වැය වන ක්‍රියාවලියක් බවයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමටම අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බවද නීතීඥ සාමූහිකය පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ, මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය සම්බන්දයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.
යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවද, නීතිඥ සාමූහිකය සිය නිවේදනයෙන් සිහිපත් කර තිබෙනවා.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙළාදකින අතර, එය මෙරට මැතිවරණ ක්‍රමවේදය විකෘති කිරීමේ උත්සාහයක් බවද පෙන්වා දෙනවා.
සියලූම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ ප්‍රයන්තනයන්ට එරෙහිව නැගී සිටිය යුතු බව නීතිඥ සාමුහිකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
ජනාධිපති නීතිඥවරු දස දෙනෙකුට අධික සහ තවත් නීතිඥවරු සමූහයක් විසින් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.




