Friday, May 8, 2026
spot_img
spot_img

තාබුගලට නඩු 50ක් | ඉල්ලූ ආරක්ෂාවත් මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමාට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) තීරණය කළා.

තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ප්‍රකාශ කළේ, සැකකාර විරංජිත් තාඹුගල මෙම නඩුවේ වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකි බවයි.

එබැවින් ඔහු විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවත් ඔහුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු අධිකාරියක් වෙත පැමිණිලි කිරීමට හැකියාව තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

මෙම පැමිණිල්ල අද (10) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව මෙම නඩුකරය ගොනු කර තිබෙන බවයි.

විරංජිත් තාඹුගල නමැති මෙම සැකකරුගේ බැංකු ගිණුම්වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමරිකාවේ සිට ඇමරිකානු ඩොලර් 26,429,490ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින 03ක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබාදී තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා එය කෝටි 05කට අඩු කොට ඉන් කෝටි 02 ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ නිලධාරින් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්ත්වයක් බවත් සඳහන් කරනු ලැබුවා.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් ප්‍රකාශ කළා.

සැකකරු එසේ ක්‍රියා නොකොට තමන්ට එරෙහිව සිදු කරන වත්කම් පිළිබඳ පරීක්ෂණය මගහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදු කිරීමට මෙම නඩුව හරහා අධිකරණය වේදිකාවක් කර ගැනීමට ඉඩදිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

මෙම සැකකරු විමර්ශනවලට නිසියාකාරව සහයෝගය ලබාදී නොමැති බවත් ඔහු චෝදනා කළා.

මෙම සැකකරුට එරෙහිව විවිධ අධිකරණවල නඩු 50ක් පමණ පැවැති බවත් ඔහු තම අපරාධ වසන් කර ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු උපාය දූතයෙකු ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය බරපතල තත්ත්වයක් බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකරු ඉල්ලා සිටින ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව සැකකාර විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාල සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මුල් අවස්ථාවේදී තම සේවා දායකයා නීති විරෝධී වක්කම් විමර්ශන අංශයට ගොස් ප්‍රකාශ ලබාදීමට සූදානම් වුවත් ඔහුගෙන් නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බවයි ඔහු පැවසුවේ.

තමා සේවාදායකයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා රුපියල් කෝටි 02ක මුදලක් ලබාගත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් කොමිසමේද සිටින්නේ එම නිලධාරීන්ගේ සමකාලීනයින් බවත් එම නිසා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් නීතීඥවරයා කියා සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාද තම සේවා දායකයා සමග අමනාප තත්ත්වයකින් පසුවන බව පෙන්වා දුන් නීතිඥවරයා එම අමාත්‍යවරයා සිදුකළ ඇතැම් ප්‍රකාශ වලින් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බවත් ඒ අනුව අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 03වනදා කැඳවීමට නියම කෙරුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...