මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන දෙකක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගා සඳහා වන්දි දීමට රුපියල් බිලියනයක් ලැබී ඇති අතර තවත් බිලියනයක් රජයෙන් ඉල්ලීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
මහ කන්නයේ වර්ෂාව නිසා වැඩිම හානිය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අම්පාරේ වගා හානි වන්දි ලබා දීම සඳහා අඩු තරමින් රුපියල් මිලියන 800ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
පසුගිය මහ කන්නයේ දී වගා හානියට පත් වූ වගා බිම් ප්‍රමාණය අක්කර 100000 ඉක්මවා ගොස් ඇති බවටයි ගණන් බලා ඇත්තේ.
2024 යල කන්නයේ දී ද වර්ෂාව නිසා අක්කර 15713ක් පමණ හානියට පත්ව ඇතැයි ගණනය කර ඇති අතර මේ සඳහා වන්දි වශයෙන් වැය වන මුදල මෙතෙක් ගණන් බලා නැතැයි ද අමාත්‍යාංශය සදහන් කළා.




