පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවද සඳහන් කළා.
පක්ෂයේ නායකයා කිසිම දවසක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දාපු කෙනෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවටයි ඔහු සදහන් කලේ.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමාට කතා කිරීමට පක්ෂය කාලය වෙන්කර නැතැයි පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීයි.
තමාට විවාදයේදී අදහස් දැක්වීමට කාලය ලබාදෙන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මීට දින දෙකකට පෙර විමසූ අවස්ථාවේදී කාලය නොදෙන ලෙස ඉහළින් දැනුම් දී ඇතැයි පවසා කාලය දීමට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන්නේදැයි විමසූ බව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසුවා.
පාර්ලිමේන්තුවේ කතා ගැනීමට කාට හෝ කඩේ යෑමට අවශ්‍යදැයි එහිදී විමසා සිටි ෆොන්සේකා මහතා විපක්ෂයෙන් කාලය නොලැබුණ හෙයින් තමා කතාව පැවැත්වීමට ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගත් බවද ඔහු සදහන් කළා.




